විවිධ

Powered by Blogger.

Friday, November 18, 2011

මාව ඝාතනය කරන්න, ඒත් කුඩා කාළේ ඉදලා මම පණ මෙන් රැක ගත්තු මගේ චරිතය ඝාතනය කරන්න එපා.

ලංකාව ගමන් කළ දිශානතිය සම්පූර්ණයෙන්ම වෙනස් කළ  තිදෙනෙක් නම් කරනැයි යමෙක් කීවොත්, දෙවරක් නොසිතා

1. ජේ.ආර් ජයවර්ධන
2. වේළුපිල්ලේ ප්‍රභාකරන්
3. රෝහණ විජේවීර


යැයි කියමි.

මේ තිදෙනා විසින් තුන් කොනකින් අවුලවන ලද ගින්නකට මැදිවෙමින් රණසිංහ ප්‍රේමදාස නැමැත්තෙක් ජනපතිවිය.  ඔහු මීට පෙර රට පාලනය කළවුන්ට වඩා බොහෝ පැති වලින් වෙනස් වූවෙක් විය.
----

"නිදහස් ජාතික ඒකාගතාව හා දේශපාලනයේ පවුල් පොරය" නමින් පොතක් විකටර් අයිවන් ලියුවේය. එහි ඔහු සුද්දා රට දමා ගිය පසු  මාරුවෙන් මාරුවට මේ රටේ පාලන බලය අතට ගත් යුඇන්පී සහ ශ්‍රී ලංකා ලෙසින් ජහ මනයා ගොනාට ඇන්දූ මහ පවුල් දෙකක් ගැන පෙන්වයි [ආටිගල මුදලිදුගේ දියණිවරුන් තිදෙනා විවාහ කරගත් සේනානායක, කොතලාවල සහ ජයවර්ධන පවුලේ නායකත්වය දුන් යුඇන්පීය සහ සුද්දා යටතේ මහ මුදලිදු වූ මහ බණ්ඩාරනායකගේ පුත් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායකගේ නායකත්වයෙන් යුත් නිදහස් පක්ශය ] 

කෙසේ හෝ 1948 සිට 1988 දක්වා මේ පවුල් වලට පරිභාහිරව කිසිදු කෙනෙක්ට පාලන බලය හිමි කර ගත නොහැකිව තිබියදි, කෙසෙල් වත්තේ දිළිඳු පවුලක අඩුකුලයෙන් උපන් කොල්ලෙක්, එන්ගලන්තයේ ඔක්ස්ෆර්ඩ්, කේම්බ්‍රිඩ්ජ් තියා ලංකාවේ වත් හරි හරි හමන් අධ්‍යාපනයක් හෝ නොලැබ, මහ පොළවේ කුඩා මිනිසුන් සමඟ දේශපාලනය කර 1989දී රටේ ඉහලම තනතුරට පත්වේ. 

එහෙත් ජේආර්ගේ සුවච පුත්‍රයන් වූ ලලිත්, ගාමිණි පාර්ලිමේන්තුවේත්, විජේවීර දකුණේත් ප්‍රභාකරන් උතුරේත් ප්‍රේමදාසට විරුද්ධව සටන් කරද්දි;


ප්‍රේමදාස රට පුරා "ගම් උදා" සැණකෙළි මඟින් රජ කම ආරෝපනය කර ගනිමින්, තම අඩු කුලය උසස් කර ගන්නට දළදා මාළිඟාවට රන්වියන් බදිමින් [කුලයෙන් අඩු අයෙක් රන් වියනක් දළදා මාළිඟයට බදින්නේනම් හේ කුළයෙන් උසස් වන බැව් මා කොහේ හෝ කියවා ඇත] රැ ඉස්කෝළේ ගිය සෙන් ජෝසපිය තමන්ගේ පාසල කියමින් කෙසෙල් වත්තේ නැති පම්පොරි ගසමින් තම හීන මානය සමඟ ඇතුළතිනුත්; පිටතිනුත් වශයෙන් එකවර සටන් කීපයකටම මුහුණ දෙමින් සටන් කරමින් උන්නේය.  



මේ අතරේ ප්‍රේමදාසගේ ප්‍රතිවාදියා ලලිත් ඇතුලත්මුදලි "නාදුනන තුවක්කුකරුවෙකුගේ" වෙඩි පහරින් මිය යන්නේය. මෙහි චෝදනාව එල්ලවන්නේ ජනපති ප්‍රේමදාසටයි.

ඊට දවස් දෙකට පසුව පැවති රැස්වීමක ජනපති ප්‍රේමදාස මෙසේ කියයි,

"මාව ඝාතනය කරන්න, ඒත් කුඩා කාළේ ඉදලා මම පණ මෙන් රැක ගත්තු මගේ චරිතය ඝාතනය කරන්න එපා"

හෙතෙම ඊට පසු 1993 මැයිදින පෙළපාලියේදි බෝම්බයක් පිපිරීමෙන් ඝාතනයට ලක්වේ.


ප.ලි: ප්‍රේමදාස මහතා "සුචරිත" ව්‍යාපරය අරඹන්නේ ඉතා කුඩා කාලයේ යැයි මා අසා තිබේ. දිනක් සුචරිතය මඟින් සංවිධානය කළ උතසවයකට ඩ්.බී ජයතිලකට ආරාධනා කරන්නට උදෑසනම ගිය කුඩා ප්‍රේමදාසට ඩ්.බි ජයතිලකයන් කාර්ය බහුල නිසා මුණ ගැසෙන්නට හවස් වෙනතුරුම එහි රැදී සිටින්නට සිදුවේ. කුඩා ප්‍රේමදාසගේ මේ කැපවීම දකිනා ඩ්.බී විජේතිලකයන් "කවදා හෝ මොහු රටේ ඉහලම තැනකට යනබව පවසයි".



ප.ප.ලි: රණසිංහ ප්‍රේමදාස යනු අපේ රටේ චන්ද බලයෙන් පත්වී අඩුම කාලයක් ජනපති ධූරය දැරූ තැනැත්තායි [January 2, 1989 – May 1, 1993]


ආයෙත් ලිවීම: හිටපු ජනපති ප්‍රේමදාස මෙන්ම, මහ පවුල් දෙකට අයිති නොවූ, එංගලන්තයේ අධ්‍යාපනය නොලද [පුතුන් එංගලන්තයේ අධ්‍යාපනය ලද] මහ පොළවේ දේශපාලනය කළ ජනපති මහින්ද රාජපක්ශ මහතාගේ ජන්ම දිනය මේ ලිපිය පළවන අද දිනයේ යෙදී තිබේ. 
ජනපතිතුමාට සුබ උපන්දිනයක්..!


ඉතිහාසය අපිට බොහෝ පාඩම් උගැන්වීමට සූදානමින් සිටී. ප්‍රශ්නය වන්නේ අපි එය ඉගැනීමට සූදානම්ද යන්නයි.


ලුහුඬු දැන්වීමක්: කවුද බබෙක් මගේ නමින් ෆේක් එකවුන්ට් එකක් හදාගෙන ආතල් ගනිමින් සිටි. ඒ බබාගේ ආතල් බාබාට ආතල්ය. මට ඒ ගැන කිසි අවුලක් නැත. ඒත් ඒ බබා මගේ නමින් කරන කිසිදු නෝටි වැඩකට මම වගකියනු නොලැබේ. 
ස්තූතියි..! 



 

වින්දනාත්මක

සාහිත්‍ය

සමාජ/කාලීන

දේශපාලන

Followers

අපිව කියවන අය