තව දවසක්
මම ආයෙත් පයින්. ලයනල් වෙන්ඩ්ට් පරිශ්රය අසල. හදිසියේ ම මා ඉදිරිපිටට පැන්න ආරක්ෂක භටයා ගෙන් නියෝගයක්.
"හෙල්ලෙන්න එපා!"
මට මරණ භය මඳ පමණ දැනී නොදැනී ගියා.
දැන් ඔහු මගේ දිහා බලාන තුවක්කුව (ඒකත් අමුතුම ගැජට් එකක්) පහතට අල්ලගෙන සීරුවෙන්! අන්දමන්ද වුණු මමත් මිලිමීටරයක් වත් හෙල්ලුණේ නෑ. තත්පර ගණනාවක් ගෙවීගියා අවුරුදු තරම් දිගට.
"හෙල්ලෙන්නැතුව ඉන්න" ඔහු ආයෙත් කීවෙ මට අමතක වෙයි කියල වෙන්න ඇති. මට අමතක නෑ. අපි කීකරු පුරවැසියොනෙ. මමත් දිගටම හෙල්ලෙන්නැතුව හිටියා. මම පාරට පිටුපා පදික වේදිකාව උඩ ඔහු දිහා බලාගෙන. ඔහු මා දිහා බලාගෙන. එක්තරා විදිහක ප්රේමාන්විත ඉරියව්වක්! මට ලැජ්ජ හිතිල එයාගෙ ඇස් දෙකෙන් අහකට, අතේ තිබුණු තුවක්තුව දිහාට මගේ ඇස් පාත් කළා. මොන විකාර හේතුවකට මන්ද මට එතකොට ම "අපි තුන් මුල්ලටම වෙලා ඉමු මුහුණට මුහුණ බලා" කියන සින්දුවත් මතක් උණා. ඒත් ඒකටත් තුන් දෙනෙක් ඉන්න එපැයි කියල ආයෙත් කල්පනාවට ආවා.
එතකොට ම පිඹගෙන ගිගුම් දීගෙන ආ වාහන පේළියක් මට පිටිපස්සෙන් අපිව පහු කරගෙන යන හඬ ඇහුණා. ඒ මොකද්ද කියල බලන්න හිතුණත්, මම ඇස් දෙක තුවක්කුවෙන් අහකට ගත්තෙ නෑ. මං හිතන්නෙ මගෙ හිත තුවක්කුවට ඇදිල ගිය නිසා වෙන්න ඇති. වාහනවල හඬ නෑසී ගියා.
"හරි දැන් යන්ඩ"
මට නිදහස ලැබුණා.
2 comments:
කියවා බෙදාහදාගත්තාට ස්තුතියි :)
අඹගහ යට අගනා වැඩක්. ජය වේවා!
අපේ අය විසින්ම එක්තරා කාල වලදී අහිමි කරගන්නා ලද නිදහස අපේ උන් විසින්ම නැවතත් ජරමර කර ලබාගැනීම උත්සවාකාරයෙන් මහ ඉහලින් සමරනවා. ඒකත් එක් තරා සැර විහිළුවක්.
Post a Comment