විවිධ

Powered by Blogger.

Sunday, January 2, 2011

ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්යය කරන්නට අපේ දායකත්වය....!


"ඉන්දියන් සාගරයේ මුතු ඇටය" පුංචි කාලේ ඉදන් අපි දන්නේ එහෙම.
මේ රට මගේ රට - මා ඉපදුණු රට
හැදුණු වැඩුණු රට - මගේම මව් රට....
1996 දී අපට ක්‍රිකට් ලෝක කුසලානය හම්බවෙද්දී, සුසන්තිකා ඔලිම්පික් පදක්කමක් දිනද්දී අපි කොච්චරනම් සතුටු වුණාද.අපි ඒ ජයග්‍රහණ ගැන ආඩම්බර වුණාද..? ඒ මේ පුංචි රට ලෝකයට අභියෝග කරපු නිසා.අපි අපේ රටට ගොඩක් ආදරේ හින්දා.

අපිටත් පුළුවන්නම් අපේ රටට කීර්තියක් ගෙනත් දෙන්න.ඒක කොයි තරම් වටිනවද..?ඇත්තටම ඔව්...! දැන් අපිටත් අපේ රටේ අනාගතය වෙනුවෙන් වැඩ කරන්නට කාලය ඇවිල්ලා.මේ පුංචි ශ්‍රී ලංකාව දිහා අද මුලු ලෝකටම බලා ගෙන ඉන්නවා.ඒ අපේ රට තුළ ඇතිවන සීග්‍ර සංවර්ධන ක්‍රියාවලිය දිහා.ඉතිං ශ්‍රී ලංකාව ලෝක සිතියමේ ඉහළ තැනකට ගේන්න අළුත් සංකල්පයක් බිහිවෙලා.
"ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්යය කරමු...!"

අතීතය දෙස හැරී බලන විට වීර පරාක්‍රමබාහු රජ දවස,දුටුගැමුණු රජ දවස ශ්‍රී ලංකාව ආසියාවටම පමණක් නොව මුළු ලෝකයටම ආශ්චර්යයක් වූ බව නොරහසක්.ඉතිං ඒ අතීත මුතුන්මිත්තන්ගෙන් පැවත එන අපිට නැවත වරක් ශ්‍රී ලංකාවට ආශ්චර්යයක් කරන්න බැරිකමක් නැත.'ආසියාවේ ආශ්චර්යය' නම් වූ නව සංකල්පයක් සමඟින් ශ්‍රී ලංකාව ලෝක සිතියමේ ඉහළ තැනකට ගෙන එන්නට අපි දැන් සිහින දැක හමාරය.ඒ සුන්දර සිහිනය යතාර්ථයක් කර ගතව යුතුව ඇත.ඒ සිහිනය සැබෑ කර ගන්නට සියලු පරිසරයන් දැන් සකස් වෙමින් පවතී. දැන් ඒ සඳහා කාලය එළඹ ඇත. හුදෙක් ඒ කටයුත්ත ජනාධිපති තුමන්ටවත්,ඇමති මණඩලයටවත්,ග්‍රාම නිළධාරීටවත් සමෘද්ධි නිළධාරීටවත් තනියම කරන්නට බැරිය.ඒ සඳහා අප සියළු දෙනාගේ පොදු දායකත්වය අවශ්‍ය වන යුගයකට පෙරනිමිති දකිමින් පවතී.

දේශපාලනික වශයෙන් නොව සැබෑවටම මෙය ලොවටම ආදර්ශවත් සංකල්පයකි. ඒ නිසාවෙන් මෙය සැබෑ කර ගන්නට පුළුවන්යැයි ධනාත්මක සිතුවිල්ලක් ඇති කර ගත යුතුය.පටු දේශපාලනික අදහස් අමතක කොට ආකල්ප වශයෙන් අපි වෙනස් විය යුතුය.අනිවාර්යයෙන් මෙය යතාර්ථයක් කරන්නට පුළුවන්ය.ඒ සඳහා අපි සියළු දෙනා එකමුතු විය යුතුය.එකාමෙන් වැඩ කළ යුතුය.

"සිත ඇත්නම් පත කුඩාද?" අතීතයන් මෙසේ පැවසුවේ කට කහනවට නොවන බව මතක් කළ යුතුය.අභීතව අරමුණ කරා ගොස් නොහැක්කක් නොමැති බව අපේ රණවිරුවන් ලොවටම පසක් කළේ තිස්වසරක සාපලත් යුද්ධය අවසන් කරමින්ය.සුනාමි ව්‍යවසනයෙන් පසු පැය විසිහතරක් ගත වන්නට පෙර සියලු ආපදාවන් යථා තත්වයට පත් කළේ රටක සැබෑ මනුෂ්‍යන් වශයෙන් ලොවටම ආදර්ශයක් වෙමිනි.

මේ පුංචි දිවයින සැබෑ වීරයින් ජීවත්වෙන රටක්,සැබෑ මනුෂ්‍යයන් ජීවත්වෙන රටක්.ඒ නිසාවෙන් අපේ මේ පුංචි රට හෙට දිනයේදී සුරපුරයක් කරන්නට හැකියාව අප සතුව පවතී.ඒ සඳහා අඩිතාලම දැනටමත් වැටී හමාරය.විදුලි බලාගාර, ගුවන් තොටුපොළවල්, නව වරායන්, නව කර්මාන්තපුර ඉදිවෙමින් පවතී.වාරි කර්මාන්ත, මහාමාර්ග දියුණු වෙමින් පවතී.

මේ මහා සංග්‍රාමයට දැන් අපේ දායකත්වයද එකතු කළ යුතුය.පටු දේශපාලනික වාසි ගැන නොතකා රට ගැන සිතිය යුතුය.රටේ අනාගතය ගැන සිතිය යුතුය.මේ මහා සංග්‍රාමයට අඩුම තරමේ වචනින් හෝ සහය දැක්විය යුතුය.

2010 වසර ගෙවී නව වසරක් එළඹී ඇත.2010 වසර ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්යය කරන්නට සිහින දැකපු වසරයි.
එළඹී 2011 නව වසර ඒ සිහිනය, සිහිනයක් නොව සැබෑවක් වන වසරයි.මේ තමයි ඒ සඳහා හොඳම අවස්ථාව.ඒ සුභ සිහිනය දකින්නට අපි දැන් පෙළගැසෙමු.ඒකාමෙන් ඒ සිහිනය සැබෑ කර ගන්නට වැඩ කරමු.
"හෙට දිනයේ බිහිවන අළුත් ලෝකයේ
හිමිකරුවන් අප හැමදෙන වේ...
තාරුණ්‍ය සමඟිය අපේ ශක්තියයි
එක් වී නැගිටුමු මෙදා සැරේ......"


වැදගත්:- දේශපාලනික අරමුණක් නොවන අතර කාලීන අවශ්‍යතාවය මත ලියන ලදී.සංවාදයට විවෘතයි.

4 comments:

Anonymous said...

ඔව්,අපේ ආදරණීය මවුබිම ආසියාවේ ආශ්චර්යය වෙනකම් අපිත් බලාගෙන ඉන්නවා.දැනටම ආශ්චර්යයක් බවට පත්වෙලා ඉන්න උත්තමයෝත් ඩින්ගිත්තක් උනන්දුවෙනවානම් රටේ මිනිස්සුන්ට ණය නොවී තුන්වේල කාල ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් හදන්න, ඒ මිනිස්සුන්ට බර දාල වැඩ කරන්න පුළුවන් වෙයි ආශ්චර්යය උදාකරවාගන්න.

රොෂාන් බන්ධුල said...

ඔව් ආශ්චර්ය මැවීමැවී පේනව ඒක පුද්ගල ණය ප්‍රමාණය 250000ක් වී ඇති අද දවසේ, රටේ අධ්‍යාපනය විකුණල, රැකියා විරහිත උපාධිදහරීන් දහස් ගනනක් මහපාරට දාල, රැකියා නැති දහස් ගනනක් කම්කරුවන් පාරෙ, අපි වවමු රට නගමු කියල සියල්ල පිටරටින් ආණයන කරල, රටේ ප්‍රශ්ණ විසඳීම සඳහා කිසි ජාතික ප්‍රතිපත්තියක් නැති අතරෙ ඇමතිවරුන්ට සැප කාර් සහ කෝටි ගනන් වියදම් කර විදේශ සංචාර දෙනකොට අපිට පේනව ආශ්චර්යය උදාවෙමින් තිබෙන බව.

Anonymous said...

කයිවාරුවෙන් විතරක් අපි දැනටම ආසියාවෙ විතරක් නෙවෙයි ලෝකයේම ආශ්චර්යයක් වෙලා ඉන්නෙ.
ආශ්චර්යය කියන්නෙ පාලම් බෝක්කු හදල, ටවුන් වලින් හිඟන්නු එළවල, පාරවල් කාපට් කරල, සුපර්මාකට් ගහල ලස්සන කරන එකටනෙ.
ඒත් මේ ආශ්චර්යය වෙනුවට මිනිස්සුන්ට නීතිය සාධාරණව ඉටුවෙන, දේශපාලකයින්ට කැත විදියෙ බලයක් සහ වරප්‍රසාද නොලැබෙන, මිනිස්සුන්ගෙ ජීවන වියදම අඩු වෙලා කරන රැකියාවට සුදුසු වැටුප් ලැබෙන, බලය සහ ධනය ඇත්තෝ බලය නැති අනෙකාව පාගල දාන්න නැත්නම් විනාශ කරල දාන්න නොහැකි මානව හිමිකම් සහ මිනිස්සුන්ගෙ මිනිස් අයිතිවාසිකම් රැකෙන ආශ්චර්යයෙන් තොර රටක් ජාතියක් ගොඩනැගෙනවනම් දේශද්‍රෝහී අපි එදින සතුටින් ඉපිලී යන්නෙමු.

ලසන්ත පතිරණ said...

'ආසියාවේ ආශ්චර්යය' යන්න හොඳ සංකල්පයක් බව මම පිළිගන්නවා. එමෙන්ම එය අපට කල හැකියි යනුවෙන් ජනතාව තුල ධනාත්මක අදහස් ජනිත කල හැකිනම් වඩාත් හොඳයි. නමුත් මම හිතන්නෙ පාලක පංතිය මේවා භාවිතා කරන්නේ හුදු අලංකරණ විදිහට විතරයි. විධිමත් ඒකාබද්ධ වැඩපිළිවෙලකින් තොරව එකිනෙකා තමාට අභිමත ලෙස තැන් තැන්වල කරන භෞතික සංවර්ධන වැඩ වලින් මෙතෙන්ට යන්න කොහොමවත් බැහැ.

වින්දනාත්මක

සාහිත්‍ය

සමාජ/කාලීන

දේශපාලන

Followers

අපිව කියවන අය