බසය නවතා ඇත. එන්ජිම පණ ගැහෙයි. දැන් විනාඩි පහකට ආසන්නව ඇත. ගිණියම් මාර්තු අව්ව තහඩු වහලය විනිවිද දැනෙයි.
මා එක් අතකින් වැරෙන් ආධාරකයක එල්ලී සිටිමි. අසුනක ඉහල කොටස තෙරපී කලවයක් රිදුම් දෙයි. අනෙක් අතින් අල්ලා ගැනීමට අඟලක හෝ ආධාරකයක් අවට ඉතිරිව නැත. මා පසුපසින් දෙදෙනෙකු තෙරපෙයි. දහඩිය පිරුණු අතක් මා මුහුණ හරහා ගොස් කණුවක් අල්ලාගෙනය. දෙපසින් තෙරපෙන ස්ථුල මිනිසුන් දෙදෙනාගෙන් මා මිරිකී යන සෙයක් දැනේ.
මා කොන්ද මත තෙරපෙන කාගෙදෝ බාහුවක් අංශක කිහිපයකින් මා ඉදිරියට නවා ඇත. දෙපා වලට දමන දහඩිය හේතුවෙන් තැම්බුම් රස්නයක් කලිසම තුල රැඳෙයි. කමිසය දහඩියෙන් පෙඟී ඇත. දෑත් දෙපා හෝ කිසිදු ලෙසකින් චලනය කල නොහේ. මගේ ප්‍රමාණයට තරමක් කුඩාවට තැනූ මගේම හැඩයේ කූඩුවක මා සිර කොට ඇති සේය.
මගේ දෑස් මට්ටමට පහළින් පිහිටි කවුළුවෙන් දර්ශනය වන්නේ පාරේ කාණුව දක්වා පමණී. යන්තම් හිස හරවා බැලීමි. දහඩියෙන් පෙඟී තෙල් බේරුණු ගැහැණු පිරිමි මුහුණු යායක්, අරමුණු රහිත වෙහෙසකර හිස් දෑස්වලින් උණුසුම වෑහෙන ඉහල වහලය දෙස නිහඬව බලා සිටිති. දුම් ගඳ, දූවිලි ගඳ හා මුසුව නැගෙන විලවුන් මුසු දහඩිය ගඳ නාසය කාරවයි.
තොරතෝංචියක් නැතිව ඇසෙමින් තිබූ වාහන එන්ජින් හඬ , නළා හඬ සහ පණගැහෙන එන්ජිමේ දෙදරුම යටපත් කරමින් බසයේ කැසට් යන්ත්‍රය ක්‍රියාත්මක වේ.
ඔබ දන්නෙහිද? කලකට පෙර අල්ලපු ගෙදර එකා විසින් නැවත නැවත වාදනය කොට අප්පිරියා කරන ලද්දක් වුවද, මතක ඇති කලකින් මා විඳි රසවත්ම ගීතය ඒ මොහොතේ, එම ගීතය බව දිවුරා කියමි............
මා හද නලවන - මා හද සනසන බලාපොරොත්තුව ඔබට තියේ......
එනමුදු සොඳුරියෙ - ඔබේ බොළඳ බව - ඔබහට පැවසිය යුතුව තියේ......
•නැවත ඒ ඉල් මහේ
1 day ago
3 comments:
දුර අනාගතයේ දිනෙක ලියවීමට නියමිත පුරාතන ලංකාවේ මිනිසුන් ප්‍රවාහනය නමැති පර්යේෂණ පත්‍රිකාවට උපුටා ගනු ලබන සංරක්ෂිත ලියවිල්ල මෙය බව සලකන්න.
ලස්සන විග්‍රහයක්....
තහතම් වචනය අදරය
Post a Comment