විවිධ

Powered by Blogger.

Friday, December 21, 2012

ටැබූ සබ්ජෙක්ට්ස් ලියූ අවසන් ලිපිය

ටැබූ සබ්ජෙක්ට්ස් යනු එතෙක් මෙතෙක් පහළ වූ විශිෂ්ටතම සින්හල බ්ලොග්කරුවා බවට අවිවාදිතය. මේ උපුටා දැක් වෙන්නේ ඔහු ලියූ අවසන් ලිපියයි.

ආගම්වාදය සහ ජාතිවාදය ඔඩු දුවා අති මෙවන් මොහොතක ඔබේ අගය වඩාත් දැනේ..!  

------------------

ශිෂ්ට සමාජයක ආගම යනු පුද්ගලයකු හා සම්බන්ධ අතිශයින් පෞද්ගලික දෙයකි. එය කෙනකුගේ රුචිය තේ වලටද, කෝපි වලටද නැතොත් කෝලා පානයකටද වැනි කාරණාවක් මිස සමාජයට අදාළ කටයුත්තක් නොවේ. කතෝලික පල්ලියක බිත්ති හතර තුළ වන දෙයක් වෙතොත් ඒ කතෝලිකයන්ට පමණක් අදාළ දෙයකි. (අදාළ කටයුත්ත නීති විරෝධී හා සමාජ විරෝධී වන්නේ නම් හැර) කුරාණයේ ඇති දෙයක් අදාළ වෙතොත් ඒ ඉස්ලාම් භක්තිකයින්ට පමණෙකි. A දෙයියාට වඩා B දෙයියා හොඳය; කාරුණිකය; බලසම්පන්නය වැනි කාරණා වාදයකට ගත යුතු මාතෘකා නොවේ. එක – A දෙයියාද, B දෙයියාද ඉන්නවාද නැද්ද වත් දන්නා කෙනෙක් වත් නොවෙති. ඔවුන්ගේ ශක්‍යතාවයන් තියා, පැවැත්ම වත් විද්‍යාගාරයකදී පරීක්ෂා කළ නොහැකිය. දෙක – හොඳ, කාරුණික බව, බල සම්පන්න බව යනාදිය අවාස්තවික (subjective) කාරණාය. තුන – A දෙයියා ඇත්තටම B දෙයියාට වඩා හොඳ වුවද, B දෙයියාගේ අනුගාමිකයින් එය පිළිගනීය සිතීම උගහටය. ආගමකට ආගමක් කියන්නේ එනිසාය.
ගංගොඩවිල සෝමගේ ධර්මය හා ඔහුගේ භූමිකාව ගැන සුළු ගැටළු තිබුණද ලේඛකයා පොදුවේ සෝම දකින්නේද මේ ශිෂ්ට හැසිරීමෙන් විපථ නොවූ ආගමික නායකයකු ලෙසිනි. සෝම හැම විටම අවධාරණය කළේ තමන් ධර්මය දේශනා කරන්නේ බෞද්ධයින්ට පමණක් බවය. අහක ඉන්නා ‘මිථ්‍යා දෘෂ්ටිකයින්’ සිවිල් බලය යොදා ‘සම්‍යක් දෘෂ්ටිකයින්’ කිරීමේ වියරු, අප්‍රායෝගික සිහිනයක් සෝමට නොවීය. තමන් ඇදහූ ධර්මයට අනුව බෞද්ධයින් ‘වඩා හොඳ බෞද්ධයින්’ බවට පත් කිරීමෙන් ඔහු සෑහීමට පත් විය. මේ ශිෂ්ට ආගමික හැසිරීමට හොඳ නිදර්ශනයකි.
මෙයින් අදහස් කෙරෙන්නේ ශිෂ්ට සමාජය ආගමික නිදහස මුවාවෙන් ඕනෑම අටමගලකට ඉඩ දෙන බව නොවේ. ශිෂ්ට සමාජය ආගමට වඩා මානව සංවර්ධනයට හා පැවැත්මට වටිනා දේ ආරක්ෂා කරයි. එනිසා අවශ්‍ය තන්හීදී පොදුවේ මානවයාට අහිතකර ආගමික ක්‍රියාකාරකම් වලට වැට බඳියි. එය ආගමික නිදහස අවම කිරීමක් සේ අර්ථ දැක්විය යුතු නොවේ.
උදාහරණයක් හැටියට මේ ලේඛකයා වරෙක කටුනායක ගුවන් තොටුපළෙහි උල්පැන් ගෙයකදී (toilet) දුටුවේ මක්කම වන්දනා කිරීමට හැරහෙන ඉස්ලාම් බැතිමතකු අමාරුවෙන් පය සින්කයට ඔසවා එය සේදීමට තැත් කරන අයුරුය. එහි සින්ක ඇත්තේ පය සෝදන්නට නොවන බැව් පෙන්නා දුන් විට ඔහු කෝපයෙන් කීවේ පය සේදීම (ablution) මක්කම වන්දනාවට සැරැහෙන කෙනකු අනිවාර්යයෙන්ම කළ යුතු ආගමික කටයුත්තක් බවත් ගුවන් තොටුපළෙහි ඊට නිසි පහසුකම් නැති හෙයින් මෙසේ කිරීමට සිදුව ඇති බවත්ය. (මුස්ලිම් රටවල ගුවන් තොටුපළ වල මේ සඳහා බිම් මට්ටමේ සවිකළ පයිප්පද පිඨිකාද වේ. අනෙක් රටවලද එසේ වී නම් හොඳ වුවත් එය අනිවාර්ය අවශ්‍යතාවයක් නොවේ. මේ සිරිත ගුවන් තොටෙහිදීම කළ යුතු යැයි කුරාණයේ කොතැනක වත් ලියැවී නැති නිසාය.) පැමිණිලි කොට ලබන ප්‍රතිචාරය කවරේද නොදන්නා නිසා ලේඛකයා නිහඬ විය. නමුත් බටහිර රටක මේ සිදුවීම වූයේ නම් ඔහු අනිවාර්යයෙන්ම පැමිණිලි කරනු ඇති අතර, එහිදී ගනු ලබන ක්‍රියා මාර්ගයද පැහැදිළිය. ශිෂ්ටයෝ, පිරිසකගේ ශරීර සුවතාවය එකකුගේ මුග්ධ ආගමික වතාවතකට වඩා වැදගත්ය සිතති.
අශිෂ්ට සමාජයක් ආගමට සලකනු ලබන ආකාරය මීට ඉඳුරා වෙනස්ය. මේ සමාජයක ආගම පුද්ගලික නොව ගෝත්‍රික කටයුත්තක් බවට පත් වේ. ගෝත්‍රික කියනුයේ මෙවන් සමාජයක ආගම කෙනකුගේ ජාතිය, ඇසෙහි පැහැය, ශරීර වර්ණය සේම උපතින්ම තීරණය වන දෙයක් නිසාය. ඉතාම කලාතුරෙකින් කෙනෙක් මෙසේ තමන්ට ජන්මයෙන් උරුම වන ආගම අත් හැර එක්කෝ නිර් ආගමික වෙති; නැතොත් වෙනත් ආගමක් සරණ යති. ඉතිරිය දිවිය මුළුල්ලෙහි තම ජන්ම උරුමය වූ ඉඩ කඩම් සුරකිනවාටද වඩා ස්නේහයෙන් ආගම සුරැකීමේ නියැළී හිඳ ආගම මිනී වළට හෝ සොහොනටද ගෙන යති. තමන් හරිය අනෙකුන් වැරදිය කියා ඔප්පු කිරීමට මිනී මැරීම හැර අන් සියල්ල කරන්ට නොපැකිළෙති. තමන්ගේ මෙලොව පැවැත්මේ හරය අන් සියළු ආගම් මැඬ තමන්ගේ ආගම පැතිරවීමය මෝඩ ලෙස විශ්වාස කරති. (මෙරට නම් මෙය ආගම සම්බන්ධව සේම දේශපාලන පක්ෂ සම්බන්ධවද සත්‍යය. දෙමාපියන් යූ ඇන් පී කාරයින් වූ හෙයින් තවමත් යූ ඇන් පියට ඡන්දය ප්‍රකාශ කරන විශාල පිරිසක් අප අතර වෙති.)
මේ දීර්ඝ අටුවාව පසුගිය දිනෙක සිංහල බ්ලොගවකාශය පුරා දුර්ගන්ධය පතුරවමින් පැතිර ගිය ගෝත්‍රවාදී ආගමික මඩ සටන ගැන අපේ ස්ථාවරය පැහැදිළි කරනු පිණිසය.
ආගම සම්බන්ධයෙන් අපට ගැටළු රාශියක් ඇත. ඒ තනි තනි ආගම් වශයෙන් නොව ඒවා පොදුවේ සමාජයේ ප්‍රවර්ධනයට මං ඇහිරීම සම්බන්ධවය. ආගම පක්ෂ-දේශපාලනයෙන් වියුක්ත විය යුතු බව අපි සිතමු. (මෙහි විලෝමය – ස්වාර්ථය උදෙසා ආගම පක්ෂ දේශපාලනයට වැද්ද ගැනීම අනුමත කරන්නන් විසින් විරුද්ධවාදීන් එවන් ආගම්වලට පහර ගැසීමද විඳ දරා ගත යුතුය.) සුන්නත් කිරීම, හලාල් යන මිථ්‍යා විශ්වාසයට මුවා වී කරන කෲර සත්ත්ව ඝාතනය, බිලි පූජා උදෙසා සතුන් මැරීමඇතුළු සකල විධ ආගමික හිංසනයන්ටද, ගෞතම බුද්ධ වචනයට පටහැනි ලෙස කුඩා දරුවන්ට ඔවුන්ගේ ළමා කාලය අහිමි කෙරෙමින්ද, ඔවුන් විවිධාකාරයේ ලිංගික හිංසනයන්ට ලක් වන සුළු ලෙසද කෙරෙන අඩු වයස් මහණකිරීම්වලටද අපි විරුද්ධ වී ඇත්තෙමු. (පුදුමයකට මෙන් ලංකාවේ සිදුවන්නේ යැයි කිසිම සාක්ෂ්‍යයක් නැති බාලිකා සුන්නත් කිරීම් ගැන පවා ලොමු ඩැහැ ගැන්වෙන සුළු පින්තූර පළ කරමින් කතා කරන සිංහලබෞද්ධ යැයි කියා ගන්නා ගෝත්‍රවාදීන් ළමා මහණ කිරීම් ගැනද, පන්සල් වල සුලබ ළමා ලිංගික අපයෝජන ගැනද සම්පූර්ණයෙන් නිහඬය
මේ අප විසින් ආගම මානව සමාජයේ උන්නතියට එරෙහිව ක්‍රියා කෙරෙන ආකාරය ගැන සේම තක්කඩියන් විසින් ආගම ස්වාර්ථය උදෙසා වැරදි ලෙස අර්ථ දැක්වීම ගැනද ලියන ලද සටහන් වල දීර්ඝ එකතුවයි. මේ එක් ආගමක් ආරක්ෂා කොට අනෙක්වාට දුවන්ට පහර දීමක් නොව ආගමය කුමක් වුවද අයුත්තට දුටු තැන එරෙහි වීමක් බව බුද්ධිමත් පාඨකයා වටහා ගනු ඇතැයි සිතමු. (එය තමන්ට පමණක් එල්ල කළ ප්‍රහාරයක් සේ ගෝත්‍රවාදීන් වටහා ගන්නේ නම් එහිද පුදුමයක් නොවේ. ඔවුන් ගෝත්‍රවාදීන් නිසාය.)
1. හලාල් කළ කෲරත්වය | Halaalised Cruelty (පෙබරවාරි, 2009)
2. දළදා වතුර මිථ්‍යාව | The myth of ‘Dalada Vathura’ (මාර්තු, 2009)
3. අබෞද්ධ ළමා මහණකරණය | Un-Buddhist child ordination (මාර්තු, 2009)
4. අල්ලාහ්ගේ කැමැත්තද මේ? | Masha’Allah? (මාර්තු, 2009)
5. පෝප් සහ කොන්ඩෝම | Pope and Condoms (අප්‍රේල්, 2009)
6. දේවදත්ත | Devadatta (සැප්තැම්බර්, 2009)
7. හිනැහෙන බුදුන්ට හිනැහීම | Laughing at Laughing Buddha (සැප්තැම්බර්, 2009)
8. Sex in robes | සිවුරට හා ලෝගුවට මුවා වූ ලිංගිකත්වය (අප්‍රේල්, 2010)
9. Anandasangaree’s eye sore | ආනන්දසංගරීට ඇස් රුදාවක් වූ බුදු පිළිම (අප්‍රේල්, 2010)
10. Do good Buddhists eat more meat? | ගෙරි මස් කන්නා යහපත් සිංහල බෞද්ධයාද? (අප්‍රේල්, 2010)
11. Kiribathgoda Gnanananda’s Somawathi magic explained | කිරිබත්ගොඩ ඤාණානන්ද නම් මායාකරුවාගේ සෝමාවතී විජ්ජාව පැහැදිළි කිරීම (මැයි, 2010)
12. “කොටි සිරස” “බොදු සිරස” වූ වගයි෴ | “Koti-Sirasa” becomes “Bodu Sirasa” (මැයි, 2010)
13. සිංහල ඉස්ලාමයෙහි අභියෝගය | The challenge of Sinhalese-Islam (මැයි, 2010)
14. මගේ පුංචි මිතුරා | My Little Friend (අගෝස්තු, 2010)
15. ධර්ම දේශනය – කැසිනෝ සරණං ගච්ඡාමි | Casinos – the short cut to Dharma Rajya (නොවැම්බර්, 2010)
16. නාසරෙත්හි යේසුස් දෙස නිරුවත් ඇසෙකින් බැලීම | Jesus of Nazareth through a naked eye (දෙසැම්බර්, 2010)
17. දෙවියන් වහන්සේටද සීසර්ටද එකට කඩේ යාම | Serving two masters – the best survival tactic? (දෙසැම්බර්, 2010)
18. බුදුරැස් විහිදෙන සෝමාවතියේ ගං වතුර ආශ්චර්යය | The miracle of Somawathie (ජනවාරි, 2011)
අප ඒ සටනට ඇද ගන්ට කළ නේක විධ උත්හාස අබිමුවෙහි පවා, පසුගිය කාලයේ වූ ගෝත්‍රික ආගමික සටනට මැදහත් වන්ට අපට ඕනෑකමක් නොවූයේ මේ පෝස්ට හා ඒවාට සබැඳි කමෙන්ටු වලින් කී දේට අමතරව අපට අළුතින් එක් කරන්ට දෙයක් නොවූ නිසාය. ඉස්ලාම් ආගම ලෝකයේ ප්‍රාථමිකම, නොදියුණුම පමණක් නොව අතිශයින් පිළිකුල් සහගත ආගමික වතාවත් වලින්ද පළමු තැනට තේරෙන ආගම වුවද ඊට විශේෂයෙන් පහර දීමට අපට අවශ්‍යතාවයක් නොවූයේ ලංකාව තුළ මේ ආගමික වතාවත් දරුණුතම ප්‍රශ්නයක් නොවන හෙයිනුත් (උදා: බාලිකා සුන්නත් කිරීම් ලංකාව තුළ සිදුවන බවට සාක්ෂ්‍ය නැත. පර්දාව පැලැඳීම හෝ දිගු රැවුල පවා ලංකාවේ හැම ඉස්ලාම් භක්තිකයකුම අනුදත් සිරිත් නොවේ.) මේ ආගමික වතාවත් වලට පහර දීම තුළ ගෝත්‍රවාදීන්ට ඇත්තේ ඒවා නිවැරදි කිරීමේ අවශ්‍යතාවය නොව ජාතියක් ලෙස මුස්ලිමුන්ට පහර දීම බව අපට රහසක් නොවූ නිසාය. නිවැරදි කිරීමට අවශ්‍යම නම් ඉහත සඳහන් කළ කාරණාවලට අමතරව බෞද්ධ භික්ෂූන් බුලත්විට කෑම, හින්දූන් කාලි මෑණියන් නමින් කර ගන්නා දරුණු ස්වහිංසා, කතෝලික පල්ලිය ඒඩ්ස් වැනි දරුණු ලිංගාශ්‍රිත රෝග පැතිරීම වැළක්වීම පිණිසවත් කොන්ඩෝම භාවිතයට ඉඩ නොදීම වැනි තවත් කාරණා රාශියක් වේ. මේවා ගැන වචනයක් හෝ නොදොඩා එකම ආගමකට තනිකර පහර දීමේ යටි අරමුණ වටහා ගැන්ම අසීරු නොවේ

15 comments:

තිසර said...

මා බ්ලොග් අවකාශයට එන විට, ටැබූ සබ්ජෙක්ට්ස් බ්ලොගයද අතුරුදන් වී තිබීම මගේ සහ සමකාලීනයන්ගේ අවාසනාවකි. මෙහි දැක්වෙන ලිපි තේමාවන් දුටුකල, එම අවාසනාවෙහි තරම වැඩියෙන් දැනේ. ඔහුගේ අවසන් ලිපිය හෝ මේ ආකාරයෙන් පලකිරීම පිළිබඳ මාලන් හට ස්තූතිවන්ත වෙමි. මෙය පොදුවේ ආගම්වාදී ගෝත්‍රික හැසිරීම් ඇත්තවුන්ට සහ ඊටත් වඩා වැඩියෙන් එම හැසිරීමට විරුද්ධවන්නන්ට වැදගත් ලිපියක් බව මගේ හැඟීමය.

//අප ඒ සටනට ඇද ගන්ට කළ නේක විධ උත්හාස අබිමුවෙහි පවා, පසුගිය කාලයේ වූ ගෝත්‍රික ආගමික සටනට මැදහත් වන්ට අපට ඕනෑකමක් නොවූයේ..//
ඒ, අවාසනාවකට මෙන්, යහපත් අරමුණින් මේ ආගම්වාදයට විරුද්ධ වූවන් පවා නොදැනීම මෙම ගෝත්‍රික සටනට පටලැවී ඇති බව දකින්නට ඇති නිසාය.

Anonymous said...

"Thisara:
“The world suffers a lot. Not because of the violence of bad people, but because of the silence of good people!”
- Napoleon

ලෝකය නපුරු තැනක් වී ඇත්තේ නපුරු නරක මිනිසුන් නිසා නොව හොඳ මිනිසුන්ගේ නිහඬතාවය නිසාය.

සමහර වෙලාවට මඩ සුද්ද කරන්නනම් මඩට බහින්නම වෙනවා, මඩ නාන්නත් වෙනවා. නැති නම් ඉතිනම් මඩට බහින්නේ නැතුව බබා වගේ හැමදේම විවේචනය කරමින් ඉන්න පුළුවන්.

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

ටැබුගේ අදහස් වල මූලික හරය පිලිබඳ මාත් එකඟයි . නමුත් ටැබු මේ මොහොතේ බ්ලොග් අවකාශය තුල හිටියා නම් තවදුරටත් දරන්නේ ඔය මතයමද . විශේෂයෙන්ම ඉස්ලාමිකයින්ගේ හැසිරිම් සමහරක් බිත්ති හතරෙන් එහාට ගිහින් සමාජයට ප්‍රශ්නයක් වෙලා තියන බව ඔහු නිරික්ෂණය නොකරයිද ?

තිසර said...

මාලන්.. මහත්මා ගාන්ධි කිව්වා "සාමය සඳහා මාවතක් නැත, සාමයම මාවත වේ" කියලා.

මෙහෙම පැහැදිලි කරන්න බලන්නම්... මිනිස්සු සමාජය වෙනස් කරන්න දරන උත්සාහයන්ගේ ප්‍රධාන ක්‍රම දෙකක් මම දකිනවා. මතවාදීව සහ ක්‍රියාකාරීව කියලා. දැන් ක්‍රියාකාරීව මේකට සම්බන්ධ වෙනකොට උඹ කිව්ව කතාව හරි, අපිට මඩ ගොහොරුවට බහින්න, මඩ නාන්න වෙනවා.. එක්තරා දුරකට. නමුත් මතවාදී උත්සාහයේදි, අපි මඩ ක්‍රීඩවට හවුල් නොවී ඉන්න ඕනේ. මතවාදී උත්සහයෙදි, අපේ අරමුණ වෙන්න ඕනේ.. මිනිස්සුන්ගේ බුද්ධියට කතා කිරීම මිසක් හැඟීම් අවුස්සන එක නෙමෙයි කියලා මම හිතන්නේ. දැන් ටැබූ ගේ මේ ලිපියෙත් අරමුණ ඒක නෙමෙයිද? මැදහත් පාඨකයාට කරන බුද්ධිමත් ආමන්ත්‍රණයක් නොවේද?

මේ ලිපිය කියවලා ඉවරවෙනකොට, පාඨකයාව හිතන්න පොළඹවනවා මිසක්... "අරුන්ට දුන්න බැටේ", "මූට දෙන්න ඕනේ බැටේ" වගේ දෙයක් හිතෙන්න තියන සම්භාවිතාවය අඩුයි.

මං හරිද දන්නේ නෑ.. මම දැක්කේ මේ ලිපිය විතරනේ. මට තියන කණගාටුව ගොඩක් බ්ලොග් සහ කොමෙන්ට් වලින් දකින්නට ලැබෙන්නේ, හැමෝටම පොදුවේ බලපාන මේ ප්‍රශ්න ගැන සංවාදයකට වඩා, ඒ ප්‍රශ්නය ඇතුලේ ලඝු කරගත් බ්ලොග් චරිත වලට මඩ ගැසීමක් වගේ දෙයක් විතරයි කියන එක.

Amila Chathuranga said...

ටැබූ කියන චරිතය පන්ඩිතයින්ට කතා කිරිමේ දක්ෂයෙක්..නමුත් ඔහුට පහල මට්ටමේ අයට ආතල් හොයාගෙන අන්තර්ජාල ගත වන අය ඉදිරියේ අසාර්ථකයි..
ඔබ මාර්ටින් වික්‍රමසිංහ කියන ලේඛක චරිතය ගත්තොත් බුලත්විඩ විකුනන අත්තම්මාට තේරෙන සරල නිර්මාණ වගේම ආචාර්ය මහාචාර්ය වරු පවා නැවත වරක් සිතිය යුතු ගැඹුරු ලේඛනත් තිබුනා..ඒක විශාල පරාසයක්..
නමුත් ටැබූ සහ ටැබූ ආශ්‍රිත විද්වත් පෙළ සැමවිටම සිංහල බ්ලොග් අවකාශය තුල පන්ඩිතමානී අදහස් ප්‍රචාරය කිරීමට අපිට පොත්පත් වල ඇති දෑ කියාදීමට සැරසෙන සංඝයා වහන්සේ වැනි චරිත නිරූපනය කලා මිස..සමාජ යථාර්තයහ මිනිසුන්ගේ එදිනෙදා සමාජයට යමක් ඔබන්නට සමත් වූයේ නැහැ...

මා පුද්ගලිකව සිතන පරිදි මීට වඩා සේවයක් පේස්බුක් එකේ යන ආධුනික ග්‍රාම්‍ය කාටුන් ශිල්පීන් විසින් සිදුකරනවා..ඔවුන් ඉතා ක්ෂණයකින් මිනිස් මනස තුල ඇති පුරාණ ආකල්ප වෙනස් කරනවා..

Anonymous said...

සුදු/කළු ලෙස හඳුනා ගත හැකි ආගම් නැහැ. බොහෝ විට ඇත්තේ අළු පාටයි. ඒ කියන්නේ හරි හෝ වැරදිය කියා කෙලින්ම කියන්න බැරි ආගම් පමණක් අද පැවතීමයි.

ටැබූ නැතිවී සෑහෙන කාලයක් වුවත් අද දිනටත් මේ ලිපිය අදාලවීමම කණගාටුවට කරුණක්...

Dr. R. A. R. P. Susantha (Ph.D) said...

ටැබූගේ සියලුම ලිපි කියවූවකු ලෙස මා නම් අද බ්ලොග් අවකාශයට ටැබූ නැති අඩුව වෙසෙසින්ම දකිනවා. මට බ්ලොග් වලට ලිවීමට උත්තේජනයක් සැපයූ අය අතර ටැබූත් කෙනෙක්. එම ලිවීමට සමාන ලිවීමක් මගේ දෘෂ්ටියට බ්ලොග් අවකාශය තුල මෙතෙක් හමු වී නැත. එය කීමටත් මට කනගාටුයි.

ටැබූ මේ අවකාශයේ නිහඬව සිටින බව නම් මට විශ්වාසයි.
ඔබ මේ කියවූවා නම්,
ටැබූ නැවත ලියන්න.

මාතලන් said...

ඔතන ටැබු ලියපු කාලේ නොසිඳුවනවයි කියපු දේකුත් අද සිඳු වෙනවා. ඒ ආගමේ නාමයෙන් මිනි මැරීම..... ළඟදීම.....

Chandi said...

මේ ලිපිය ආපසු දැමීම පිළිබඳව දයාබර ඔබට මගේ ස්තූතිය. මිනිසත්කම නැමති දහමේ සැනසෙන දිනක් උදාවේවා!

Chandi said...

මේ ලිපිය ආපසු දැමීම පිළිබඳව දයාබර ඔබට මගේ ස්තූතිය. මිනිසත්කම නැමති දහමේ සැනසෙන දිනක් උදාවේවා!

කේ.යූ.ජී. උදාර said...

මේ ලිපිය දැම්මට තුති...
පුළුවන් නම් ටැබූගේ තව ලිපියක් දෙකක් දාන්න.

SilentSahan said...

cache file eke nathi wenna baha.
okkoma athi...

SilentSahan said...

oya tharam age nathi una nisa
kiyala katawathma hithenne nahada?
( thula lagneta apalayi 2013)

SilentSahan said...

@ thisara let me knw ur mail addrs..

Unknown said...

උදාවූ නව වසර සියලු දෙනාගේම යහපත් සිතුම් පැතුම් ඉටුවන සුභ නව වසරක් වේවා!
අළුත් වසරක් - අළුත් දිනක් - නිවහල් ජාතියක් - ජාතීන් අතර සමගියක්
උගත් පාඩම් තුළින් හැදෙමු. අන් අයටත් කියා දෙමු.

වින්දනාත්මක

සාහිත්‍ය

සමාජ/කාලීන

දේශපාලන

Followers

අපිව කියවන අය